Wednesday 17 August 2011

IP කියන්නෙ මොනාද?


පරිගණක ගැන කතා කරද්දි නිතරම ඇහෙන වචනයක් තමා මේ IP කියන්නෙ. ඔය කියන්නෙ "මම චූ කරනවා"(I pee) කියලා නෙමේ Internet Protocol කියන එකට. ඔතනදි වෙන්නෙ හැම පරිගණකයකටම වෙන් කරලා අදුනගන්න පුලුවන් ආකාරයෙ ඉලක්කමක් දෙන එක. අද පාවිච්චි වෙන හැම router එකක්ම පාහේ DHCP සේවාව සමග එන නිසා IP ගැන කිසිම වදවීමක් නැතිව පරිගණක ජාලයක අනිත්‌ පරිගණක එක්ක සම්බන්ධතාවන් ගොඩනගාගන්න පුලුවන්. network card එකේ properties වල ipv4 වලට (GNU අතුරුමුහුනතේ නම් [Fedora/hanthana හෝ Ubuntu] system -> preferances->network connections වල අදාල interface එකේ click කරලා edit ගිහින් 1pv4 tab එකට) ගියපුවාම මේ වගේ සංවාද කොටුවක් එනවා දැකලා තියනවා නේද?



සාමාන්‍ය default සැකසුම් තියෙන්නෙ ඔය විදිහට "Obtain an IP address automatically" කියලයි. ඔය විදිහට සැකසුම් තියනකොට පරිගණකය පණගැන්වුනාම network card එක DHCP සේවාවක් තියනවාද කියලා හොයන්න දත්ත පැකට් විකාශනය කරන්න පටන් ගන්නවා. හරියට කොහෙ හරි ගෙදරකට ගිහිල්ලා "ගෙදර කවුරුත් නෙද්දෝ.." කියලා කෑ ගහනවා වගේ. DHCP සවාවක් ධාවනය වෙනවනම්‌ ජාලයෙ කොහෙ හරි (router එකක හරි server එකක), එයා ඔය කෑ ගැහිල්ලට ප්‍රතිචාර දක්වලා වෙන පරිගණකයක භාවිතා වෙලා නැති ip එකක් ලබාදෙනවා. වැඩේ ලේසියෙන් කරගන්න ඕන නම් ඔය විදිහට settings තියෙන්න ඇරලා මේ ලිපිය කියවන එක මෙතනින් නවත්තන්නයි තියෙන්නෙ. :P

ඔයාලා දැකලා ඇති බොහොමයක් වෙලාවට ඔයාගෙ ip එක පටන්ගන්නෙ 192.xxx.xxx.xxx හෝ 10.xxx.xxx.xxx විදිහට. ඕකට හේතුව තමා ip සම්බන්ධ බලධාරිය එහෙමත් නැත්නම් ICANN (ඕකෙ හැබෑ තේරුම Internet Corporation for Assigned Names and Numbers උනාට එයාලා තදයො, එයාලට ඕන දෙයක් කරන්න පුලුවන් නිසාලු I CAN කියන්නෙ :P ) එකෙන් පනවලා තියන නීති රීති. එයාල කියන හැටියට විශේෂ අවසරයක් නැතිව පුද්ගලික ජාලයක පාවිච්චි කරන්න පුලුවන් සීමිත IP ප්‍රමාණයක් තියනවා. ඔය සීමාව ගැන කතාකරන්න කලින් ip address classes ගැන කතාකරලා ඉම්මු.

ip ලිපිනයක් හැදිලා තියෙන්නෙ බිට් 32ක එකතුවෙන්. අර අතරමැද තියන තිත් තුන තියෙන්නෙ බිට් අටේ කොටස් වෙන් කරන්න.

බිට් අටයි  . බිට් අටයි . බිට් අටයි. බිට් අටයි
11000000.10101000.1111000 .1100100
192          . 168         .120         . 100

බිට් අටකින් පෙන්වන්න පුලුවන් උපරිම අගය 256 කියලා දන්නවා නේද?
128 +  64  +  32  +  16  +  8  +  4  +  2  +  1

පොඩ්ඩක්‌ බයිනරි වලට ඔලුව හදාගම්මු..

10000001 = 129    (128+1)
10000100 = 132    (128+4)
10000101 = 133    (128+4+1)
11100000 =  ???    (128+64+32)

වැඩේ වෙන හැටි පැහැදිලියි නේ? ICANN එකේ ගනං කාරයො කියන හැටියට class A, B, C (සහ D E) කියලා භාවිතා කරන ජාලයෙ සයිස් එක අනුව පන්ති වලට බෙදන්න පුලුවන්. ඔය පන්ති බෙදිල්ල කරන්නෙ බයිට් අටේ කොටස් හතරෙ පලවෙනි බයිට් අට පාවිච්චි කරලා.

00000000 ඉදලා 01111111 වෙනකම් කොටස (0 ඉදලා 127 වෙනකම් [0+64+32+16+8+4+2+1]) class A එහෙමත් නැතිනම්‌ ලොකුම ප්‍රමාණයේ ජාල සදහා පාවිච්චි කරන්න කියලා වෙන් කරලා තියෙන්නෙ.

10000000 ඉදලා 10111111 වෙනකම් කොටස (128 ඉදලා 191 වෙනකම් [128+0+32+16+8+4+2+1]) class B කියලා වෙන් කරලා තියෙන්නෙ

11000000 ඉදලා 11011111 වෙනකම් කොටස (192 ඉදලා 223 වෙනකම් [128+64+0+16+8+4+2+1]) class C කියලා වෙන් කෙරෙනවා. අපි හුගක් දැකලා හුරු පුරුදු ඔය class c ජාල නෙ ;)

D සහ E ජාල පරීක්ෂණ කටයුතු සදහා වෙන් කරලා තියෙන්නෙ. (උඩ රටාව බලලා D සහ E ජාල වල range එක කියන්න පුලුවන් නේද?)

ඔයා හදන්න යන්නෙ ජාලයට කැමති class එකක ip range එකක් ලබාදෙන්න කිසිම තහනමක් නෑ. උදාහරණයක් විදියට ඔයා පරිහණක දෙකක් switch එකකට හෝ router එකකට සම්බන්ධ කරලා හදන ජාලයකට class A ip එකක් දෙන්න කිසිම තහනමක් නෑ. හැබැයි ඒ පන්තියට අදාල private ip range එකෙන් පිට ip එකක් පාවිච්චි කරන්න තහනම්. private IP range වෙන් කරලා තියෙන්නෙ මෙන්න මේ විදිහට.

class A - 10.0.0.0         ඉදලා 10.255.255.255 වෙනකම්
class B - 172.16.0.0     ඉදලා 172.31.255.255 වෙනකම්
class C - 192.168.0.0   ඉදලා 192.168.255.255 වෙනකම්

ඔය පරාසය ඇතුලත ip පාවිච්චි කරනතාක් කල් ICANN එකත් එක්ක නඩු හබ වලට නොපැටලී ඉන්න පුලුවන් :)

ඉතිරි කොටස පස්සෙ වෙලාවක අරන් එන පොරොන්දුව පිට, ආයිබෝං කිව්වා හැමෝටම.