Thursday 1 September 2016

හැකිං ගැන උනන්දු අනික් මල්ලිලා වෙත ආදරයෙන් ලියන වග නම්..

උත්සවයක් අතරතුර කෑ කෝ ගසමින් එහෙ මෙහෙ දුවන පොඩි එකෙක්ගේ දෙමව්පියන්ට හිතින් බැනවැදීම, ලග ඉන්නා කෙනෙකු සමග දොස් පැවරීම අතිශය සාධාරණ මනුෂ්‍යහැසිරීමක් නමුත් පොඩි එකාගේ කණ මිරිකා 'හැසිරෙන්නට කියාදෙන්න' හෝ උගේ බෙල්ලෙන් අල්ලා 'මුගේ අම්මා කව්ද' කියා ඇසීම නුබට කල නොහැකිය. නුබේ නගරයේ ඇති පොල්ස් ස්ථාණයේ ආයුද ගබඩාවේ දොරේ ඇති ඉබ්බා බැරල් තුනේ ග්ලෝබස් එකක් කියා කොන්ඩා කටුවක් සහ හැට්ට කටුවක් (හෝ මනා lock picking ආවුද) භාවිතා කර විවෘත කොට ස්ථානාධිපති ලගට ගොස් "මේං" කියන්නට හෝ අයිතිකාරයා නැතිබව හොදින්ම දන්නා වත්තකට මිස අඹ ගෙඩියක් පේර ගෙඩියක් කඩාගන්නට නොපැන සිටීමට තරම් බුද්ධිමත් නුබලාගෙන් එකෙක් රජයේ ගොඩනැගිල්ලක ඉදිරිපස කුරුටු චිත්‍ර (graffiti) ඇදීමට සමාන ඩිජිටල් ගොං කමක් කිරීමට තරම් මුග්ධ තත්වයකට ඇදවැටෙන්නට ඇත්තේ කෙසේද කියා තවමත් මට නොතේරේ.

අන්තර්ජාලයට සම්බන්ධ වීමට නම් අන්තර්ජාල සේවා දායකයෙකුගේ (ඩෑලොග්, හුලංටෙල්, ඇස් ඇල් ටී වැනි) සේවාව අවැසි බව නුබ දන්නවා ඇතැයි මම සිතමි. ඒ සේවාදායකයා නුබව අනිත් පරිශීලකයන්ගෙන් වෙන්කොට හදුනාගන්නට ip ලිපිනයක් කියා එකක් දෙන වගත් නුබ අසා ඇතැයි සිතමි. නුබ කොයි දීපංකරේ ගියත් නුබ ඉල්ලුම් කරන පිටුව අදාල සර්වරයෙන් එවන්නේ ඔය කියන ip ලිපිණයට බවත් උබට තේරෙනවා ඇතැයි සිතමි. ඉතිං යකෝ... ඕක හරියට හංගගන්න දන්නැතිව උබ කොහෙ ගියත් උබව මාට්ටු වෙනවා කියලා තොට තේරෙන්නෙ නැද්ද?

(සමාවෙයං පොඩ්ඩක් තරහා ගියා)

යථාර්තය නම් කෙවින් මිට්නික්, සැමී කම්කා වැනි අතලොස්සක් success stories ගැන සැවොම කතා කලත් සිරගතවී සිටින දහස් ගනන් පරිගණක අපරාධකරුවන් ගැන කිසිවෙක් අසාවත් නැත. ඔවුන් සියල්ලම තවත් එක් අපරාධකරුවන් පිරිසක් පමණි. පරිගණක ආරක්ශණ උපදේශණ සමාගමකට (ethical hacking company) සේවය කරන මම ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ අප ආයතණය කිසිදු ආකරයක සාපරාධි චෝදනාවක් (criminal record) ඇති අයෙකු හට රැකියාවක් ලබා නොදෙන බවයි. ඔව් නුබ සිතුවා හරිය... ඉංගිරිසි ද හිංදිද කියා වෙනසක් නැත, ටීවී එකේ යන විච්චූරණ සැබෑ ජීවිතයට ආදේශ කරගන්න ගියොත් නුබට කෙලවෙනවා සිකුරුය. යම්කිසි ආයතනයක වරදක් නුබ සොයාගත්තානම් කලයුත්තේ ඔවුන්ට ඒ බව දැන්වීම මිස අසූ ගනන් වල මෙන් ඒ අඩවියේ මුල් පිටුව වෙනස් කිරීම නොවේ. දැන්වූ පලියට උන් එය හදන්නේ නැති බව මමත් අත්දැකීමෙන් දනිමි. නමුත් නුබත් මමත් ජීවත්වන පද්ධතිය තුල (දේසපාලුවන්ට හා බලපුලුවංකාරයින්ට නැති මුත්) නීතිය කියා දෙයක් ඇත. එය කඩකිරීමට සමාව ලැබෙන්නේ උක්ත කුලකයට අයත් වාසනාවන්තයින්ට පමනක් බවත් හොදින් මතක තබාගත යුතුය.

මේ සිදුවීමට ලැබුන ප්‍රසිද්ධියත් සමග හැකිං කෝස් වෙලදාම කරන වෙලෙන්දන්ට රජ මගුල් කන්න චෑංස් එකක් ලැබී ඇත. මතක තබාගතයුතු කාරණය නම් ඉන්ටකෝස් කල පලියට ලමයින් හම්බෙන්නේ නැති සේම අහවල් කෝස් එක කල පලිට උබට දැනුම ලැබෙන්නේද නැතිවගය. නුබ සැබෑවටම විශය ගැන උනන්දුවක් දකන්වන්නෙක් නම් ඉගෙනගන්නට උවමනා සෑම දෙයක්ම අන්තර්ජාලයෙන් නොමිලේ සොයාගත හැක. අවැසිවන්නේ නුබේ උනන්දුව හා කැපවීම පමණෙි. ලොකු ඇඩ් දී, ලොරි ටෝක් සමග අහවල් කෝස් එක ප්‍රමෝට් කරන්නන්ගේ පම්පෝරියට නොරැවටී උන් කල කී දේවල් සහ ඒ කෝස් එක කර ගොඩගිය උන් ඇතිදැයි සොයාබලන්න යුහුසුලු වන්න. නුබ දේසපාලුවෙකුගේ දරුවෙකු හෝ 'නාන්න සල්ලි' ඇති පවුලකින් පැවතෙන්නෙක් මිස බහුතරයක් දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපණයට උදෙසා වියදම් කරන මුදල් ඉතිරිකරගන්නට දරන වෙහෙස දන්නේ ඔවුන් පමනි. එසේ තිබියදී රජය හෝ කෝටි ගනන් මිල මුදල් ඇති වෙනත් ආයතනයක් සමග නඩුහබ වලට පැටලීම බහුතරයක් දෙමව්පියන්ට සිතීමට පවා බිය ගෙනදෙන කාරණයකි.

අවසාන වශයෙන් නුබ ප්‍රිය කරන ගැහැනු ළමයා විස්මයට පත් කිරීමට හෝ යහලුවන් අතර පොර වීමට හැකිං ගැන කතා නොකරන, සැබවින්ම පරිගණක ආරක්ෂාව ගැන උනන්දුවක් ඇති නම්, කෙටි මාර්ග වල යෑමෙන් වැලකී නීතියට පටහැනි නොවන ආකාරයට දැනුම දියුනුකරගැනීමට උත්සහ ගනිං.

ජය

ඇන්ටයියා